Wednesday 8 October 2014

කුණාටුව



මල්  උයනේ කෙලවරක
ගස්  වැටෙන් වැසී ගිය
කොන්ක්‍රීට් බංකුවේ
ඉරි වැටුණු කුඩය යට
උණුහුමට තුරුලුවෙයි
ඒ තරුණ පෙම්යුවල
සීතලෙන් බේරෙන්න

ඇද හැලෙන පිනි බිංදු
ගලා විත් එකතු වී
සැදුව ඒ ජල පහරේ
පොඩි එකෙක් ලස්සනට
දිය කෙළියි  සීරුවට
ඔරුවකින් කඩදාසි

තවත් එක කෙළවරක
තෙත බරිත පොඩි එවුන්
වසාගෙන තටු වලින්
වලි කුකුළු මව් කෙනෙක්
හුල්ලයි දුක්බරව
කුසට අහරක් නැතුව

සැනෙන් ආ සුළි සුළඟ
අමෝරා වැසි සමග
ගලෝගෙන විසල් ගස්
මුදුන් මුල් සමගින්ම
ඒ උයන වසාගෙන
ගුප්ත අඳුරත් සමග

................................

චප්ප වූ ඉරි කුඩය
පා වුනා මඩ වතුරෙ
සොයන්නට පෙම් යුවල,
නොමැති විට ඒ දෙදෙන
එල්ලුණා මල්ගසක
පොහොට්ටුද ගැලව ගිය

ගැලවගොස් දුබල බැමි
දිගහැරී ඒ ඔරුව
යට වෙලා රොන් මඩට
ඉතිරි වූ කෙළවරක්
මතු වෙලා ගොහොරුවෙන්
තිබුනේය හිරවෙලා
සියුම් දෑගිලි වලට

පහව ගොස් රෑ අඳුර
බැස ගියත් මඩ  වතුර
මතු උනත්  යළි උයන
සලකුණක් නොමැතිවිය
ඒ පැටව් දෙදෙන ගැන
සිටිය මව්ගේ තටුව යට

- ජානක ගුණතිලක


No comments:

Post a Comment