Tuesday 7 October 2014

ගං තෙර




මුසුව ඒ සුසුම් ඔබ මා හෙලු පෙරදා
දෙකම්මුල් උණුසුම් කර අප  දෑත් පටලා
වැතිරී සයනයේ නිරුවත්ව රාත්‍රියේ
නිදි වරව සිටියා පමණක්ය  ඔබ මා

ගතින් එකිනෙකා වේලි ගිය  මොහොතේ
සිතින් අප දෙදෙන පා උනා සිහිනයේ
ඉසව්වක කිසිවෙකුත් නොසිතනා ඒ රැයේ
සැරිසරා  සියලු තැන සෝ සුසුම් වැගිරුණේ

ඉරි තැලූ ඔරු කඳක ලණු කැඩුණු කොල්ලෑවක
මුහුණින් මුහුණ බලමින් නොබලමින්
හබල් ගෑවෙමු උඩු යටි ගං බලා
ඇරඹුවෙමු දිවි ගමන ඈත ගං තෙර   බලා

සැඩ පහර රළු වැස්ස අකුණු සැර භීතියෙන්
බියපත්ව ගිය කලෙක සිත් සතන් විසිරෙමින්
බිඳී ගිය පසු දුබල  හබල මිඳී දෑතින්
කැඩී ගිය පසු ලණු කොල්ලෑවෙ අප වෙතින්

නෙළාගත් නෙලුම් මල් ගං දියෙන් ආදරෙන්
ගිලිහුණා අප අතින්  සැඩ දියට මුසු වෙමින්
රැකගන්න පණ  කෙන්ද වාරුවට, සීරුවෙන්
එක්වුණා සියලු දේ නැති විටෙක මොහොතකින්

ඇත්තෙන්ම උණුසුම්ය ඔබ සුසුම්
ඇත්තෙන්ම උණුසුම්ය මා සුසුම්
පාව ඒ  උණුසුමේ අනුහසින්
ලං උනෙමු ගං තෙරට සීරුවෙන්

- ජානක ගුණතිලක












No comments:

Post a Comment